මාවුස්සාකැලේ ජලාශයේ දූපතක් හා අධිසංවේදී පරිසර රක්ෂිත විදෙස් සමාගමකට ලබා දීමට ආණ්ඩුව විසින් මේ වන විට සැලසුම් කරමින් සිටින අතර මේ පිළිබඳ නිරීක්ෂණයට අද දින එනම් අගෝස්තු 15 දින සමාජවාදී තරුණ සංගමය සහ පරිසර සංවිධානවල සාමාජික පිරිසක් එහි සංචාරයක නිරත වූහ.
මෙම අවස්ථාවට සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජික මලින්ද ජීවන් සහෝදරයා සහ නුවරඑළිය දිස්ත‍්‍රික් සංවිධායක කපිල විජේකෝන් සහෝදරයා ඇතුළු සහෝදරයින් හා පරිසරවේදීන් පිරිසක් සහභාගි වූ අතර මලින්ද ජීවන් සහෝදරයා මෙහිදී අදහස් දැක්වීය.
”ශ‍්‍රී පාද අභය භූමිය කියන්නේ ජල පෝෂක ප‍්‍රදේශයක් වගේම, අධි සංවේදී පරිසර කලාපයක්. මේ කලාපයේ දැනට ලංකා විදුලිබල මණ්ඩලය භාරයේ පවතින මාවුස්සාකැලේ ජාලාශයට යාබද ඉඩම් කොටසක් හා ජලාශය තුළ පිහිටා ඇති දූපතක්, දිගුකාලීන බදු පදනම යටතේ ලබා දීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙනවා.
සෘජු විදෙස් ආයෝජනයක් ලෙස ඩොලර් මිලියන 25ක් යෙදවීමෙන් සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතියක් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් එල්.එල්.සී සමාගමට ලබා දීමට, ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍යවරයා වන ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා තමයි මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩල ඇනුමැතිය ලැබුණු බව පසුගිය ජුනි 26 දින ප‍්‍රකාශ කරන්නේ.
මාවුස්සාකැලේ ජලාශය යනු අක්කර අඩි 95,000ක පමණ ජල ධාරිතාවයක් සහිත ජලාශයක්. ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, ඇතුළු ජල විදුලි බලාගාර කිහිපයකට ජලය ලබා දෙන්නෙත්, කැළණිය ග`ගට ජලය ලබා දෙන්නෙත් මෙම ජලාශයෙන්.
මෙවැනි අධි සංවේදී පරිසර කලාපයක් තුළ කිසියම් ආයෝජකයෙක් ආයෝජනයක් සිදු කරන්නේ නම් එම ආයෝජන වාර්තාව ජනතාවට ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම ජාතික පාරිසරික පනත අනුව ඊට අදාළ පරිසර තක්සේරු වාර්තාවක් ලබා ගැනීම අනිවාර්යයි. නමුත් තවමත් එවැනි කිසිම වාර්තාවක් ජනතාවට ඉදිරිපත් කර නැහැ.
මෙහි සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනයට සංවර්ධන කටයුත්තක් සිදු කරන්නේ නම් සිදු කළ යුතු වන්නේ ඊට අදාල නිසි ක‍්‍රමවේදයට හා විනාශය අවම කරගෙනයි. ඒවගේම සංචාරක ක්ෂේත‍්‍රය ප‍්‍රවර්ධනයට භාවිතා කළ හැකි ලෙස පරිසරය, සතා සිව්පාවා ආරාක්ෂා කරගෙන සිදු කිරීම විනා ඒවා විනාශ කිරීම නෙවෙයි.
ඒ නිසා සමාජවාදී තරුණ සංගමය ලෙසත් පරිසරවේදීන් ලෙසත් මෙම අධිසංවේදී පරිසර කලාප විනාශයට එරෙහිව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ පිළිබඳව මේරටේ පරිසරයට ආදරය කරන තරුණ තරුණයින් සහ මහජනතාව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා”