රනිල්ගේ සමාජ මාධ්‍ය මර්දනය ආපසු හරවමු!

රනිල් – රාජපක්ෂ ආණ්ඩුව විසින් සමාජ මාධ්‍ය මර්ධනය සඳහා ගෙන ඒමට නියමිත පනත සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් සැප්තැම්බර් 22 එනම් අද දින සමාජවාදී තරුණ සංගමය විසින් පවත්වන ලදී .

මෙම මාධ්‍ය හමුව සඳහා සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයා, සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් අංජන අමරසිංහ සහෝදරයා සහ සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජික බන්දුල පුෂ්පකුමාර සහෝදරයා සහභාගී විය.

මෙහිදී එරංග ගුණසේකර සහෝදරයා විසින් මෙලෙස අදහස් දකාවා සිටියහ. “රනිල් රාජපක්ෂ ආණ්ඩුව මේ රටේ ජනතාවට එකම අයිතිය බවට පත්වෙලා තිබෙන කතා කිරීමේ හා නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැතිකරන්න හදනවා. ඒ වෙනුවෙන් තමන් අටවා ගත් පාර්ලිමේන්තුව ඇතුලේ නීති සම්මත කරන්න ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. අපි දැක්කා පී.ටී.ඒ. එක වෙනුවට ඒ.ටී.ඒ. එක ගේන්නත් ඒ වගේම තමන්ට අවනත නොවෙන මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන බය ගැන්වීම සහ වැළැක්වීම වෙනුවෙන් විකාශන අධිකාරී පනත් පසුගිය කාලයේ ඉදිරිපත් කළා. එහි තවත් දිගුවක් ලෙසට සැප්තැම්බර් මස 15දා රනිල් හා ටිරාන් අලස් එකතු වෙලා මාර්ග ගත ක්‍රමවේදයේ සුරක්ෂිතභාවය පිළිබඳ පනතක් (ඔන් ලයින් සේෆ්ටි පනත) ඉදිරිපත් කර තිබෙනවා. මෙහි දේශපාලන අරමුණ අපට තේරුම් ගත හැකියි.

තවදුරටත් ඔහු ප්‍රකාශ කර සිටියේ, ” මේ ක්‍රියාවලිය ජනතාවට සුබවාදී ක්‍රියාවලියක් වෙන්නේ නැහැ. ඒ නිසාම ඒකට විරුද්ධව ජනතාව ඉදිරියට එද්දී එය වැළැක්වීමට රනිල්ලා සූදානම් වෙමින් ඉන්නවා. මේ රටේ ජනතාවට ස්වාධීනව තමන්ට ගැලපෙන අදහසක් ලියන්න, තමන්ට අවශ්‍ය ඡායාරූපයක් දාන්න, දේශපාලන විවේචනයක් කරන්න තිබුණු තැන තමයි සමාජ මාධ්‍ය ජාලා හෙවත් සෝෂල් මීඩියා. ‘ඔන් ලයින් සේෆ්ටි’ පනත මගින් එය තහනම් කිරීමට, මර්දනය කිරීමට රනිල් රාජපක්ෂලා සූදානම් වෙන්නේ.

මෙම පනතින් ඉදිරිපත් කරන කරුණු ටිකක් තිබෙනවා. ‘ඔන් ලයින් සේෆ්ටි ඇට්’ එකේ පූර්විකාව ඉතා හොඳ වගේ පෙනෙනවා. අසත්‍ය ප්‍රකාශ, වෛරී ප්‍රකාශ, වැරදි තොරතුරු දමා මුදල් එකතු කිරීම්, මේවා තහනම් කළ යුතුයි. නතර කළ යුතුයි, එයට අදාළව දඬුවම් දිය යුතුයි. බැලූ බැල්මට එය හොඳයි වගේ පෙනෙනවා. ‘ඔන්ලයින් සේෆ්ටි ඇට්’ එක අනුව මූලිකවම ස්වාධීන කොමිෂන් සභාවක් පත්කරනවා. අපි පාවිච්චි කරන ෆේස් බුක් එක, යූ ටියුබ් එක, ඉන්ස්‌ටගෑම්, විවිධ සමාජ මාධ්‍ය ජාලා සියල්ලම නිවැරදිද කියා තීන්දු කරන්න මේ කොමිෂන් එකේ දෙදෙනෙකුට කළ හැකියි. මෙයින් සිදුවෙන්නේ ආණ්ඩුව තමන්ට රිසිසේ සමාජ මාධ්‍ය ජාලා හැසිරවීමේ අයිතිය තහවුරු කරගැනීමයි.

මේ කොමිෂමේ පස්දෙනාට බලතල කිහිපයක් තිබෙනවා. එකක් තමයි ඒගොල්ලන්ගේ කොන්දේසිවලට අනුව සමාජ මාධ්‍ය ජාලා ලියාපදිංචි කළ යුතුයි. ඒගොල්ලන් හඳුන්වා දෙන නව ආචාර ධර්ම පද්ධතියකට අපි කැමති විය යුතුයි. එසේ කැමති වුණොත් පමණයි අපිව ලියාපදිංචි කරන්නේ. ලියාපදිංචි වුණොත් විතරයි අපට ලංකාව තුළ සෝෂල් මීඩියා පාවිච්චි කළ හැකි වන්නේ. අපි ලියන අදහස, අපි කියන කතාව හරිද වැරදිද, ඉවත් කිරීම, තහනම් කිරීම, දඬුවම් දෙනවාද කියා කියා තීරණය කරන්නේත් රනිල් විසින් පත්කරන රූකඩ කමිටුව. 

මේ ගැසට් එක පුරාවට වචන කිහිපයක් තිබෙනවා. ‘අසත්‍ය ප්‍රකාශ’, ‘තහනම් ප්‍රකාශ’, සහ ‘සිද්ධීන්’ ලෙස. නමුත් කිසිම තැනක ඒ වචන අර්ථකථනය කර නැහැ. මෙහි අවසානයේ සිදුවන්නේ රනිල්ලාට ගැලපෙන ආකාරයට රූකඩ කමිටුවට අවශ්‍ය ආකාරයට මිස ජනතාවගේ පැහැදිලි කිරීමකට අනුව නොවේ. මේ පනත සම්මත වුවහොත් අපේ ජනතාවගේ භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය මුළුමනින්ම ප්‍රතික්ෂේප වෙනවා, එය උල්ලංඝනය වෙනවා. මෙය සමාජ මාධ්‍ය ජාලා මර්දනය කිරීමේ පනතක් බවට පත්වෙලා තිබෙනවා. ඒ නිසා මේ පනත පරාජයට පත් කළ යුතුයි. 

පසුගිය කාලය තුළ මාධ්‍ය ජාලා තුළ ක්‍රියාත්මක වූ තරුණ තරුණියන්ට, ප්‍රගතිශීලී සියලු දෙනාට අපි ආරාධනා කරනවා, ඔබට එරෙහි වන මේ ක්‍රියාමාර්ග ඉතාමත් හොඳින් තේරුම්ගෙන එයට එරෙහිව මැදිහත් වෙමු.  අපේ රටේ මාධ්‍ය ජාලාවලට අත තැබූ නායකයෝ දෙන්නෙක් හිටියා. ඒ දෙදෙනාටම ගෙදර යාමට සිදුවුණා. මෛත්‍රීපාල, ගෝඨාභය මාධ්‍ය සමග සෙල්ලම් කළා. එයාලට ගෙදර යන්න සිදුවුණා. මාධ්‍ය තුළ ක්‍රියාත්මක වන සියලු දෙනාට කියන්නේ ඔබේ හඬ අවදි කරන්න. අදහස් ප්‍රකාශ කරන්න. මේකට විරුද්ධව ලියන්න. ලොව පුරාත් ලංකාව පුරාත් ඉන්න සියලු දෙනාට අපි ආරාධනා කරනවා. අපි මේ වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා. මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම්, භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය උල්ලංඝනය කර තිබෙනවා. එයට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නවා. මේ පාලකයෝ බයවෙලා තිබෙන්නේ මහජන බලයට. අපි ඒ වෙනුවෙන් පෙරමුණ ගැනීමට සූදානම්. “