මලෛයහ ජනතාවට වසර 200යි


මලෛයහ යනුවෙන් හඳුන්වන්නේ දෙමළ භාෂාවෙන් කඳුකරය කියන වචනයටය. කඳුකරයට ආ ජනතාවට මලෛයහවරුන් ලෙස හඳුන්වනවා. මලෛයහවරුන් හෙවත් ඉන්දියානු සම්භවයක් සහිත දමිළ ජනතාව ලංකාවට එන්නේ බ්‍රිතාන්‍යය පාලන සමයේදීය. අපේ රටේ තේ වගාව ඇරඹි බ්‍රිතාන්‍යය ජාතිකයන් විසින් ශ‍්‍රමිකයන් ලෙස මුල්ම මලෛයහවරු ලංකාවට ගෙන එන ලදහ. දහස් සංඛ්‍යාත දෙමළ ජනතාව මන්නාරම වෙරළ තීරයේ සිට නොයෙක් පීඩා මධ්‍යයේ මාතලේට සැතපුම් සිය ගණනක් පා ගමනින් ගෙන එන ලදහ. එහිදී විශාල පිරිසක් විවිධ පීඩාවලට ලක්වෙමින් මරණයට පත්වූහ. එදා සිට අද දක්වා වසර 200ක කාලයක් ගතවී ඇති නමුදු අද වන විට පරම්පරා 04ක් 05ක් ගෙවී ගොස් ඇති නමුදු මේ වනතෙක් බොහෝ පිරිසකට පුරවැසිභාවය පවා ලැබී නොමැත.
පසුගිය අගෝස්තු 09 වැනිදාට මලෛයහවරුන් පැමිණ වසර 200ක් ගත වීම නිමිත්තෙන් මන්නාරමේ සිට මාතලේ දක්වා දවස් කිහිපයක පාගමනක් සූදානම් කර තිබිණි. මෙහිදී ඔවුන්ගේ ඉල්ලීම් වූයේ අනෙකුත් ජනතාවට මෙන්ම ඔවුන්ටත් සමාන අයිතිවාසිකම් සහිත ලංකාවේ ජන කොට්ඨාසයක් ලෙස පිළිගැනීමත්, ජීවත් වීමට සරිලන වැටුපක් ලබා දීමත්ය. මෙරට ප‍්‍රගතිශීලි ජනතාව විසින් සංවිධානය කරන ලද මෙම පාගමනට සමාජවාදී තරුණ සංගමයද සහභාගි විය.