කළුතර දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටා ඇති විනාශ වෙමින් පවතින තුඩුගල ඇල්ල ආරක්ෂා කර ගැනීම වෙනුවන් කාලයක් පුරා වෙහෙසෙන ප්‍රදේශවාසී එකතු කර ගනිමින් පැළ සිටුවීමේ වැඩසටහනක් ඔක් 21, එනම් අද දින සමාජවාදී තරුණ සංගමය හා පරිසර සංවිධාන එකතුව විසින් පැවැත් විය.
තුඩුගල ඇල්ල සුවිශේෂ හේතු ගණනාවක් නිසා වැදගත් වේ. මෙය මුහුදු මට්ටමේ සිට බලන විට පහතින්ම පිහිටා ඇති දිය ඇල්ල ලෙස ද ප්‍රචලිතය. එසේම නාගරික ප්‍රදේශයක් ආශ්‍රිතව පිහිටා තිබීම ද විශේෂය. එහෙත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අද වන විට මෙම දිය දියඇල්ල බරපතළ තර්ජන ගණනාවකට මුහුණ පා ඇත.
ආසන්නම බලපෑම එල්ල වී ඇත්තේ මෙම දිය ඇල්ලේ ජල පෝෂක ප්‍රදේශය තුළ පිහිටා ඇති ගල් කොරි වලිනි. මෙම කන්ද තුළ ගල් කොරි පහළොවක් පමණ පිහිටා ඇත. මේ අතර මහා පරිමාණ A ශ්‍රේණිය ගල්කොරි පහකි. පාරවල් වලට යොදන කාපට් නිෂ්පාදනය කරන ආයතන දෙකක්ද ඇල්ල ආසන්නයේ ආරම්භ කර ඇත. මෙය ඇල්ල ආශ්රිත පරිසරයට පරිසරය වශයෙන් බරපතළ හානියකි. එසේම ජලය සිඳී යාමට හේතුවක් ලෙස ප්‍රචලිත ශාකයක් වන කටු පොල් ඇල්ල ආශ්රිත වැඩි භූමි ප්‍රමාණයක සිටුවා ඇත. එසේම ඇල්ල නැරඹීමට පැමිණෙන සංචාරකයින් නිසි ක්‍රමවේදයකින් තොරව බැහැර කරන පොලිතීන්, ප්ලාස්ටික් වැනි ද්‍රව්‍ය ඇල්ලට බරපතළ හානියකි. බුලත් හපයා වැනි වඳ වී යෑමේ දැඩි තර්ජනයට මුහුණ පා ඇති ආවේණික මත්සයින් වසර කීපයකට පෙර දක්නට ලැබුණත් මෙම දූෂිත තත්ත්වයන් හේතුවෙන් අද දක්නට නොලැබේ. මේ හේතුව නිසා තුඩුගල ඇල්ල අනාගත පරපුර වෙනුවෙන් රැක ගැනීම අප කාගේත් යුතුකමකි.
මෙහිදී මෙම අවස්ථාවට සම්බන්ධ වූ දරුවන්ට පරිසරය ආරක්ෂා කරගැනීමේ වැදගත්කම පෙන්වා දෙමින් හරවත් දේශනයක් ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලයේ කතිකාචාර්ය දිනිදු දේවපුර සහෝදරයා විසින් සිදු කරන ලදී.
මෙම අවස්ථාව සඳහා සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජික බන්දුල පුෂ්පකුමාර සහෝදරයාද මලින්ද ජීවන් සහෝදරයාද පරිසර සංවිධාන නියෝජනය කරමින් ජනක විජේගුණතිලක සහෝදරයා, මිහිතල මිතුරෝ පරිසර සංවිධානයේ K. මුණගම සහෝදරයා ඇතුළු සහෝදර සහෝදරියන්ද සම්බන්ධ විය.