ගම සමග පිළිසදරක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වැඩසටහනෙන් පසුව සමාජවාදී තරුණ සංගමයේ අප මොනරාගල දිස්ත්‍රික්කයේ දහයියාගල අභයභූමිය නැරඹීමට ගියෙමු. අලින්ගේ නිජභූමියක් බවට පත්ව ඇති ලදු කැලෑ සහිත මෙම අභය භූමිය අලියාගේ නිජබිමක් බව එයට ඇතුළු වන මුල්ම මොහොතේ අපට දැනිණි . අවට ගම්වාසීන්ට අලි කරදරයකින් තොරව මේ දක්වා කටයුතු කිරීමට හැකිව තිබෙන්නට ඇත්තේ මෙම දහයියාගල අභය භූමිය නිසා බව පැහැදිලිය. අප වනාන්තරයට ඇතුළු වන මොහොතේ මුලින්ම කිසිදු පරිසර හානියක් සිදුවී නැති බව අපට දැනිණි අප මෙහි පැමිණියේ නිරපරාදේ යැයි අපට හැඟිණි. නමුත් අප අසීරුතා මැද්දේ ඩෝසර මගින් කැලය තලා හදන ලද පොඩි පාරවල් දිගේ කැලේ අස්සෙන් අභය භූමිය මැදට රිංගා ගත්තෙමු . එහි දකින්නට ලැබුණු දසුන් හද සසල කළේය. සූක්ෂම ලෙස අභයභූමිය වටේ කැළය ඉතුරු වන ලෙසත් අභයභූමිය ඇතුළට වෙන්න මහා දැවැන්ත ලෙස පරිසරය විනාශ කරමින් සිටිනු අපට දකින්නට ලැබිණි.අලින්ගේ පැමිණීම වැළැක්වීම සඳහා නවීන අලි වැටවල් යොදමින් අලියන් සතු භූමිය ව්‍යාපාරිකයන් අතට නතු කරගනිමින් තිබිණි . එම ප්‍රදේශයේ ජීවත් වන සාමාන්‍ය ගොවියෙකුට හිතා ගන්නටවත් බැරි තරමේ දැවැන්ත අලි වැටවල් යොදමින් විශාල මුදලක් වැය කරමින් නගර සැලසුමකට සමාන ආකාරයේ පාරවල් කපමින් තිබෙනු අපට දකින්නට ලැබිණි.අභයභූමිය මැද අක්කර සිය ගණන් ස්කෙවේටර බැකෝ යන්ත්‍ර මහ ටැක්ටර් යොදා ගනිමින් අප යන විටත් පරිසරය විනාශ කරමින් සිටී. අභයභූමිය මැද අපට බදන්නට වත් නොහැකි තරමේ විශාල ෆස් කපා වැටක් ලෙස සිටවා අක්කර ගානක් වටකරමින් කබානා සහිත හෝටල් සංකීර්ණයක් ඉදි කරමින් තිබිණි. එසේ කර තිබූ විනාශය වචනවලින් කියා විස්තර කළ නොහැක. අභය භූමිය වටේට වන්නට මහා දැවැන්ත කැලයක් පෙනෙන්නට තිබුණත් ඉන් ඇතුලට වන්නට අක්කර සිය ගණන් සුද්ද කරමින් සිටී විශාල රූස්ස ගස් , ලඳු කැලෑ හා ජල කඩිති විශාල ස්කැවේටර් බැකෝ යන්ත්‍ර මහ ටැක්ටර යොදාගනිමින් මේ මොහොත වන විටත් විනාශ කරමින් සිටී. නමුත් ප්‍රදේශයේ ගොවියන් සිතා සිටින්නේ ඔවුන්ට මෙහි වගාවන් කිරීමට අයිතිය ඇති බවකි .සිදුවන්නේ එය නොව සාමාන්‍ය ගොවියාගෙන් මහා දැවැන්ත ජාවාරම් කරන ව්‍යාපාරිකයන් විසින් දහයියාගල අභයභූමිය අත්පත් කරගනිමින් සිටින බවකි . අභයභූමිය අවට ප්‍රදේශවාසී ගම්වාසීන් සියලු දෙනාටම දැවැන්ත ජීවන අනතුරකට හා ඉඩම් අහිමි වීමේ ඛේදවාචකයකට මුහුණ දීමට සිදුවනු ඇත.රටට ආදරය කරන අනාගතය සුරක්ෂිත කරන්නට වෙර දරන දේශප්‍රේමී දේශහිතෛශී ජාතිමාමක සියලුම තරුණ තරුණියන් රටේ අනාගතය විනාශ කරන අපේ ජීවන හුස්ම හිර කරන වතුර බිඳක් නොමැති ව මිය දෙන්නට සිදුවන අනාගතයක් ඇතිවීම වැළැක්වීම උදෙසා මේ පරිසර විනාශයට එරෙහිව නැගී සිටිමු පෙළගැසෙමු.