තරුණ ඔබේ ආදරයට වංචා කළ දේශපාලනය වෙනස් කර රට නව මාවතකට හරවමු! – එරංග ගුණසේකර 

‌ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ තෙවන අයවැය පසුගියදා ඉදිරිපත් කළ අතර ඒ පිළිබදව අද (07) දින සමාජවාදී තරුණ සංගමයේ අදහස් ඉදිරිපත් කරන ලදී. මෙම අවස්ථාවට සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයා , නීතිඥ ශානිකා සිල්වා සහෝදරි සහ ජාත්‍යන්තර කටයුතු පිළිබද ලේකම් අංජන අමරසිංහ සහෝදරයා සහභාගී විය. මෙම මාධ්‍ය හමුව ‌බත්තරමුල්ල පැලවත්තේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවැත්විය.

මෙහි දී අදහස් දැක්වූ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයා…

“සෞභාග්‍යයේ දැක්ම යටතේ 03වැනි අයවැය ඉදිරිපත් කර තිබෙනවා. ජේ.ආර්. ජයවර්ධනගෙන් පසුව දැවැන්තම බලයක් අත්පත් කරගත් නායකයා බවට පත්වී සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතායි. ඔහුට මේ තරම් බලයක් අත්කර දෙන්න රට තුළත් විදේශයන්හිත් ජීවත්වූ තරුණයන්ගේ බලපොරොත්තු සහ මැදිහත්වීම සැලකිය යුතු දායකත්වයක් දැක්වූවා. පෙර දේශපාලන ජයග්‍රහණවලින් පසුව තරුණයන් ප්‍රතිලාභ ලබා ගැනීමට මැතිවරණය ජයගත් දේශපාලකයන්ගේ කාර්යාල ඉදිරිපිට රැස්වුණා. නමුත් මෙවර ඒ සංස්කෘතිය වෙනස් කරමින් තරුණ තරුණියන් තමන්ගේ වියදමින් ස්වේච්ඡාවෙන් නගර අලංකරණය කිරීමට, පුරන් කුඹුරු අස්වැද්දීමට මැදිහත් වුණා. ඔවුන් ගෝත්‍භය රාජපක්ෂගේ පාලනය පිළිබඳව මහත් බලාපොරොත්තු තැබුවා. 
එළඹෙන 09වැනිදා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අයවැය විවාදය පැවැත්වෙනවා. ජනාධිපතිවරයා මීට වසර තුනකට පෙර සෞභාග්‍යයේ දැක්ම නමින් වැඩපිළිවෙළක් එළිදැක්වුවා. තරුණයන්ට සිහින නිර්මාණය කළේ එයයි. නමුත් මෙවර අයවැය තුළ තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශ වැය ශීර්ෂය සිහිනය හා යථාර්ථය අතර වෙනස පෙන්වනවා. එම අමාත්‍යාංශයට මිලියන 5574ක් වෙන්වී තිබෙනවා. එයින් තරුණයන්ගේ සහභාගිත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් මිලියන 494ක් වෙන් කර තිබෙනවා. නමුත් සෞභාග්‍යයේ දැක්ම 21 පිටුවේ උසස්පෙළ සමත් සියලු දෙනාට විශ්වවිද්‍යාල වරම් ලබා දීමට වැඩපිළිවෙලක් හදන බව කියනවා. එවැනි කිසිදු යෝජනාවක් මේ අයවැය තුළ නැහැ. පවතින විශ්වවිද්‍යාල, ‘ස්මාර්ට් ලර්නින් යුනිවර්සිටි’ බවට පත්කරන බව එහි කියා තිබුණා. එවැනි කිසිදු යෝජනාවක් ඉදිරිපත් වී නැහැ. විශ්වවිද්‍යාලවලට අනුබද්ධ තාක්ෂණික පීඨ ආරම්භ කරන බවද එහි කියා තිබුණා. ජනාධිපතිවරයාගේ තුන්වැනි වසර අයවැය තුළද මෙම යෝජනා ඇතුළත් වී නැහැ. ඒ වගේම තවත් වසර දෙකක් මේ පාලනය පවතීදැයි අපි දන්නේ නැහැ. මේ යෝජනාවලට කුමක් වී දැයි අපි ආණ්ඩුවෙන් අහනවා. 
තරුණ ව්‍යවසායකයන් වෙනුවෙන් මිලියන 150ක් වෙන් කර ඇති බව අයවැය කියනවා. නමුත් සෞභාග්‍යයේ දැක්ම 21 පිටුවේ සඳහන් වන්නේ ජාතික තරුණ අරමුදලක් පිහිටුවනු ලබන බවයි. මිලියන 1000ක අරමුදලක් පිහිටු වන ලබන බව එය කියනවා. එම මිලියන 1000ක අරමුදලට මොකද වුණේ? තරුණ තරුණියන් ටැබ්, ස්මාර්ට් දුරකථන ආදිය ලබාදී තාක්ෂණිකව යාවත්කාලීන කිරීම සඳහා ණය පහසුකමක් ලබා දෙන බව 22 පිටුවේ සඳහන් වී තිබෙනවා. නමුත් දැන් අයවැය තුළ එයට අදාළ මඟපෙන්වීම කුමක්දැයි අපි ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ආර්ථිකයක් ඇති කිරීම වෙනුවෙන් මිලියන 656ක් වෙන් කර තිබෙනවා. සෞභාග්‍යයේ දැක්මේ 26 පිටුවේ ජාත්‍යන්තර ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් අරඹන බව කියනවා. එම විශ්වවිදයාලයට අනුබද්ධ පීඨ 09ක් පළාත් මට්ටමින් ඇති කරන බව කියා තිබුණා. එහෙත් එම වැඩපිළිවෙළ මේ අයවැයේ ඇත්තේ කොතැනකදැයි අපි ප්‍රශ්න කරනවා. සෞභාග්‍යයේ දැක්ම 21 පිටුවේ උපාධිධාරීන් ළඟට රැකියාව එන ක්‍රමයක් හදන බව කියා තිබෙනවා. නමුත් දැන් උපාධිධාරියා ළඟට රැකියාවක් වෙනුවට එන්නේ කඳුළු ගෑස් හා බැටන්පොලුයි. උපාධිධාරීන් 15,000-20,000ක් පමණ ප්‍රමාණයක් රැකියා විරහිතව සිටිනවා. මේ අතර ආයුර්වේද වෛද්‍යවරුන් 900කට වැඩි පිරිසක් සිටිනවා. මේ ගැටලුවට තරුණ කටයුතු අමාත්‍යාංශය කවර පියවර ගනු ලැබ ඇත්දැයි අපි නාමල් රාජපක්ෂ ඇමතිවරයාගෙන් අහනවා. 

මුදල් ඇමතිවරයා වසර දෙකකට රාජ්‍ය සේවයට බඳවා නොගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා. රාජ්‍ය සේවය රටට බරක් බව කියා තිබෙනවා. විශ්‍රාම ලැබීමේ වයස 65 දක්වා වැඩිකරන බව කියා තිබෙනවා. එහි තේරුම මෙරට උපාධිධාරීන් ඇතුළු රැකියා විරහිත තරුණ තරුණියන්ට වසර 05ක් යනතුරු රජයේ සේවයේ දොර වසා ඇති බවයිඅගමැතිවරයා ඔක්තෝබර් 12වැනිදා පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරනවා. මෙමගින් ඔහු අගමැති නිල නිවස නවීකරණය වෙනුවෙන් යැයි කියමින් කෝටි 13ක් වෙන් කර ගන්නවා. නොවැම්බර් 08වැනිදා පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කොට අග්‍රාමාත්‍ය කාර්යාලය විදේශ ගමන්, කාර්යාල උපකරණ හා සේවා වෙනුවෙන් කෝටි 10ක මුදලක් වෙන් කර ගන්නවා. රටේ ආර්ථික අර්බුදයක් පවතින බව කියන අතර මාස දෙකක් තුළ කෝටි 23ක මුදලක් තමන්ගේ පහසුකම් වෙනුවෙන් වෙන් කර ගන්නවා. බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයාත් පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කොට නොවැම්බර 16 දින කෝටි 08ක මුදලක් වෙන් කර ගන්නවා. ගොවීන්ට, ධීවරයින්ට, කම්කරුවන්ට, තරුණයන්ට, කාන්තාවන්ට ප්‍රශ්න තිබියෙදී ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල මෙසේ අමතර මුදල් වෙන් කර ගැනීම සාධාරන වන්නේ කොහොමදැයි අපි අහනවා. 
මේ සියල්ල දෙස බැලූ විට පෙනෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ තරුණ තරුණියන්ගේ අපේක්ෂාවන්ට බූට් එක තබා ඇති බවයි. මේ 2022 අයවැය කියන්නේත් එයමයි. මේ රටට බරක් වී තිබෙන්නේ වසර 05කට රට භාරගත් දූෂිත දේශපාලකයින්ද නැතහොත් වසර 65ක් රටට කැඹුරූ රාජ්‍ය සේවකයන්දැයි සිතා බලන ලෙස මේ රටේ තරුණ තරුණියන්ගෙන් අපි අහනවා. තරුණ තරුණියන් මහත් බලාපොරොත්තු ඇතිව පත් කළ නායකයා සහ ඔහුගේ සහචර කණ්ඩායම මේ රට තව තවත් විනාශයට ගෙන යමින් තිබෙනවා. ඔවුන් ඔබේ සිහින විනාශ කරමින් සිටිනවා. ඔබේ ආදරයට වංචා කර තිබෙනවා. ඔබ මේ රැවටිලිකාරී, ඩීල්කාරී දූෂිත දේශපාලනය වෙනස් කර නව මාවතකට මේ රට හරවා ගැනීම වෙනුවෙන් පෙළගැසිය යුතුයි.”


හීන දකින සුන්දර රට ගොඩනගන්න තරුණ තරුණියන්ට අපි ආරාධනා කරනවාසමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජිකා නීතීඥ ශානිකා සිල්වා  
“මේ අයවැයත් සාම්ප්‍රදායිකව ඉදිරිපත් වූ ඉලක්කම් විජ්ජාවක් පමණයි. සෞඛ්‍යය, ප්‍රවාහනය, කෘෂිකර්මය මෙන්ම කාන්තා හා ළමා කටයුතු වැනි ක්ෂේත්‍රවලට සුවිශේෂී අවධානයක් ලබා දිය යුතුව තිබෙනවා. මේ සියල්ලට ආණ්ඩුව වෙන් කර තිබෙන්නේ රුපියල් බිලියන 525ක් පමණයි. නමුත් ආණ්ඩුව ආරක්ෂක වියදම් වෙනුවෙන් පමණක් රුපියල් බිලියන 529ක් වෙන් කරනවා. මෙය පසුගිය වසරට සාපේක්ෂව 21%ක වැඩි වීමක් සටහන් කරනවා. තමන්ගේ භාරයේ සිටින සිරකරුවෙකුටවත් ආරක්ෂාව සැපයීමට අසමත් ආණ්ඩුවක් ආරක්ෂාව වෙනුවෙන් යැයි කියමින් මෙතරම් වැඩි මුදලක් වෙන් කර ගන්නේ ඇයිදැයි අපි ප්‍රශ්න කරනවා. රටක අනාගත ආයෝජනය වන අධ්‍යාපනයට ආණ්ඩුව වැඩිපුර මුදල් දී තිබෙන්නේ 1%කින් පමණයි. 
තමන්ගේ සුදුසුකම්වලට අනුව සුදුසු වැටුපක් සහිත රැකියාවක් ලබා ගැනීම තරුණ තරුණියන්ගේ සිහිනයක් වනවා. නමුත් මේ අයවැය තුළ රැකියා ගැටලවට කිසිදු අවදානයක් යොමු කර නැහැ. සංචාරක, ඇඟළුම් වැනි ක්ෂේත්‍ර ගතහොත් ඔවුන් බරපතළ ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙමින් සිටිනවා. සංචාරක ක්ෂේත්‍රය ලක්ෂ 06ක පමණ පිරිසක් තමන්ගේ ජීවිකාව කර ගෙන තිබෙනවා. මෙයින් ලක්ෂ 04ක් පමණ වන බහුතරය තරුණ පිරිසයි. පවතින තත්වය හමුවේ ඔවුන්ගෙන් විශාල පිරිසකට ජීවනෝපය අහිමි වී තිබෙනවා. ඔවුන් වෙනුවෙන් මේ අයවැය තුළ ගෙන තිබෙන පියවර කුමක්දැයි අපි ප්‍රශ්න කරනවා. ඔවුන්ට වහා සහන සැලසිය යුතුව තිබෙනවා. තරුණ තරුණියන් සැලකිය යුතු ප්‍රමාණයක් විදෙස්ගත රැකියා කරනවා. ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය මහතා ඡන්දය දීමට මෙරටට පැමිණියා. ඔවුන් ඒ පැමිණියේ ඔහු මේ රට ගොඩනගනු ඇතැයි යන විශ්වාසයෙන් යුතුවයි. නමුත් දැන් මෙරට තරුණ තරුණියන් බලාපොරොත්ු බිඳගෙන විදේශයන් බලා යාමට ගමන්බලපත් පෝලිම්වල සිටිනවා. ආණ්ඩුව දිනවීමට කටයුතු කළ තරුණ තරුණියන්ගේ රැකියා බලාපොරොත්තුවට ආණ්ඩුව පිළිතුරු දෙන්නේ මෙලෙසදැයි අපි විමසනවා. 
ඇඟළුම් කර්මාන්තය තුළ තරුණ තරුණියන් විශාල පිරිසක් සේවය කරනවා. විශේෂයෙන් පසුගිය කොවිඩ් කාලය තුළ ඔවුන් ගැටලු රැසකට මුහුණ දුන්නා. ඔවුන්ට අවම සෞඛ්‍ය පහසුකම් යටතේ රැකියා කිරීමට සිදුවුණා. බෝනස් ආදී අමතර දීමනා කප්පාදු වුණා. ඒත් 2020 මාර්තු වන විට ඇඟළුම් ක්ෂේත්‍රය තුළින් ඩො.මි. 317ක ලාභයක් උපයා තිබෙනවා. අපනයන ආදායම ඩො.මි. 460 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙසේ විශාල කැපකිරීමක් කරන තරුණ තරුණියන්ගේ සුභසාධනය වෙනුවෙන් ආණ්ඩුව මේ අයවැයෙන් ගෙන ඇති කිසිදු පියවරක් නැහැ. සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ශ්‍රම බලකායන්ට අදාළ අලුත්ම දත්ත ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව 2021 ජනවාරි සිට ජුනි කාලය තුළ රැකියා වියුක්තිය ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. වැඩිම රැකියා අහිමි වීම් සිදුවී තිබෙන්නේ කර්මාන්ත හා සේවා අංශය තුළයි. වැඩිම ශ්‍රම හැකියාවකින් සිටින්නේ තරුණ තරුණියන් වුවත් රටේ වැඩිම රැකියා වියුක්තියක් සහිත පිරිස වන්නේ ඔවුන් වීම කණගාටුදායකයි. ඔවුන්ගේ හීනවලට සලකන්නේ මෙසේදැයි අපි ආණ්ඩුවෙන් අහනවා. තරුණ තරුණියන් මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කළේ මේ ආණ්ඩුව කෙරෙහි විශ්වාසයෙනුයි. නමුත් ඔවුන් මේ වන විට දේශපාලකයන් කෙරෙහි බලවත් කලකිරීමක ඉන්නවා. සමාජවාදී තරුණ සංගමය ලෙස අපි ඔවුන්ට කියන්න කැමති ඔබ ඔබේ බලාපොරොත්තු බිඳවට්ටවා ගන්න එපා. ඔබට විශ්වාසය තැබිය හැකි නායකත්වයක් අප සතුයි. සමාජවාදී තරුණ සංගමයට. ජනතා විමුක්ති පෙරමුණට ඔබේ හීන පිළිබඳ දැක්මක් තිබෙනවා. ඒවා යථාර්ථයක් බවට පත්කිරීමේ වැඩපිළිවෙළ ඇත්තේ අප සතුවයි. හීන දකින සුන්දර රට ගොඩනගන්න තරුණ තරුණියන්ට අපි ආරාධනා කරනවා.”