ජූලි 09 ජනතා නැගිටීමට වසරයි…

2022 වසරේ ජූලි 09 ලාංකේය ජනතාවට ඓතිහාසික අවස්ථාවක් විය. පුරා මාස 03ක කාලයක් නොනවත්වා පැවැති ගාලු මුවදොර අරගලය අවසන් වූයේ ලාංකේය ඉතිහාසය තුළ ප්‍රථම වරට විධායක ජනාධිපතිවරයෙක් ජනතාව විසින් පන්නා දැමීමෙනුයි. වසර ගණනාවක් ගොවි, ගුරු, කම්කරු, හා වාමාංශික දේශපාලන පක්ෂ ආදිය විසින් පැවැත්වූ අරගලයන්ගේ තීරණාත්මක අවස්ථාවක් වූයේ බහුතර ජනතාවක් එක්තැනක අරගල භූමියක් බවට ගාලුමුවදොර අරගලය පත්කර ගැනීමය. එම අරගලය තුළ යම් ජයග්‍රහණයක් ලැබූවද නිවැරදි දේශපාලන දිශානතියකට යොමු නොවීම හේතුවෙන් අවසන් ජනතා ජයග්‍රහණයක් බවට පත්කර ගැනීමට නොහැකි විය. එම නිසාම “ජනතා නැගිටීමට වසරයි! ජනතාවාදී ජයග්‍රහණය තෙක් ජන සටන පෙරට!” තේමාව කරගනිමින් එම අවස්ථාව සැමරීම සඳහා සමාජවාදී තරුණ සංගමය පසුගිය ජූලි 09 දින දියත උයනේදී විරෝධතාවක් සංවිධානය කළේය. මේ සඳහා සිවිල් සහ බහුජන සංවිධාන ඇතුළු සමාජ ක්‍රියාකාරීහු, සිවිල් ක්‍රියාකාරීහු රැසක් එක්ව සිටියහ.